Sunday, August 14, 2011

Nayomi Sirinali Nawarathne
නෙත් පියන්න නෙත් අරින්න මට ඔබ ලඟ දඟ කරන්න
සිත් නිවන්න සිත් දවන්න ආදරයේ සුව ගෙනෙන්න
මත් කරන්න ඔය රළු සිත ආදරයෙන් පිරි මදින්න
ලත් තැන නම් ලොප් නොවන්න මා ලඟ සැමදා රැ‍‍ඳෙ‍න්න

සිත් පතුළට එබී ඉන්න පතුළ බදා වැළඳ ගන්න
පත් ඉරු මත ලියපු කවිය මට ඇහෙන්න ඔබ ගයන්න
නෙත් දෙක මෙන් මා රකින්න නෙත් වලින්ම සිනා සෙන්න
හිත් පිත් නැති ගලක් වුවද මා ලඟ උණු වුනා ඔන්න.........
Ashane Subasinha ‎.
දා මෙන්ම අද හිතුවා මේ කරුමෙන් ගැලවි යන්න
සිත දැඩිකොට පලායන්න දෙවියනි මට උදවු වෙන්න
බොරු සෙනෙහස පෙන්වාලා එනවද මා රවට්ටන්න
සිනහවෙන්න නෙවෙයි සොඳුර දැන් වෙන්නේ මට අඬන්න

Nayomi Sirinali Nawarathne
රැවටීලා ඉවරයි දැන් බොරුවට නුඹ නාඬ ඉන්න
ගැලවෙන්නට මගෙ උඟුලෙන් හිතන්නවත් එපා ඔන්න
ඉටු දෙවියන් සිහිකරන්න තව පව් කම් නොකර ඉන්න
මම දෙන්නම් හොද දඬුවම් රජ කල සිහියට නැගෙන්න

Ashane Subasinha
ඔබෙ මුලු බොරු පෙම ගැන හිත හිත යළි දුක් විඳින්න
වැළඳ ගන්න නෙවෙයි සොඳුර හිතෙන්නෙ මට දෙකක් දෙන්න

පත් ඉරු මත ලියපු කවිය දෙකට ඉරුව තරහ එන්න
හිතන්න එපා කවදාවත් මගේ ළඟින් ඔබට ඉන්න

Nayomi Sirinali Nawarathne
මම බය වෙයි ඔය කවියට කවි ලියන්න ඉගන ගන්න
කිසි දිනයක ළඳක් වෙතට අත් ඔසවනු නොවෙයි ඔන්න
තම මව් වැනි උතුම් පිනැති අය ගැන සිහියට නගන්න
තරහ ඇවිත් සිත රිදුනොත් ටිකක් වෙලා නිහඬ වන්න

Ashane Subasinha ‎.
හිතන්නෙ මම හැමදාමත් නුඹ හැරදා ගමට යන්න
බොරු පෙම් බස් දොඩවාලා යළි යළි නුඹ සිනහ වෙන්න
නැතිදෝ ළඟ තව මිනිහෙක් මැයගේ කරේ එල්ල ගන්න
පතනෙමි මම හැමදාමත් යළිත් නුඹව නොදැක ඉන්න

Nayomi Sirinali Nawarathne
බොහොම හොඳයි අදහස නම් කරල බලමු වැඩක් වෙන්න
ගමට ගිහින් හේන කොටා මුං කුරහන් එහි ඉසින්න
රෑට කියන පැල් කවියට හීන් තාලයක් ගෙනෙන්න
මම එන්නම් හොරෙන් හොරෙන් සිත යට හොල්මන් කරන්න

Ashane Subasinha
හේනට එන මුව පැටවුන් නුඹට වඩා හොඳයි ඔන්න
නුඹ නැති තැන පහන් සිතින් පුළුවනි මට හුස්ම ගන්න
ගමේ ඉන්න කෙළි පැන්චියො ඒවිනෙ මට අත වනන්න
පුළුවන් මට කවදා හෝ සතුටින් යළි සිනහ වෙන්න

Ashane Subasinha
මේකප් ලිප්ස්ටික් විලාසිතා තව තව නුඹ පුරුදු වන්න
හැමදාමත් නගරෙ ඉඳන් තව එවුන්ගෙ කරට යන්න
සිතනෙමි මම කවදා හෝ ගම වටකර වැට බඳින්න
හිතන්නෙපා කවදා හෝ ගමට ඇවිත් මාව කන්න

Nayomi Sirinali Nawarathne
මට දුක් ගින්දර දීලා දැන් යනවලු සිල් රකින්න
ගැමි කැකුළියො එකතු වෙලා දෙයි ඔයාට බැටේ ඔන්න
පරිස්සමින් හේන කොටා අස්වනු ටික ගෙට ගේන්න
අනේ මගේ පණ රන්කද නාන තොටට හෙම නොයන්න

එළිවෙන රෑ තුනට විතර නින්ද ගියා පුටුව උඩම
දවල් හීන ඔයා දැකල ලියපු කවට රිදුන සිතම
එකතුනවලා අපි දෙන්නා කවි ලියුවා දාල පදම
අනේ මලේ හෙටත් වරෙන් මම ඉන්නම් ඇහැරගනම

Nayomi Sirinali Nawarathne ‎....
එළිවෙන තුරු රෑ වෙන තුරු අපි දෙන්නා කවි බැන්දා
උදේ රැයින් අවදි වෙලා ඔබ හැමෝම රස වින්දා
ලයික් දදා කමෙන්ට් දදා හිතට තල්ලුවක් කැන්දා
ආපුනිසා කලන මිතුරු හිස නමලා දැන් වැන්දා

Ashane Subasinha
ඔබෙ කවි රස විඳින ගමන් බොසා ඇවිත් බැන්න ඔන්න
අනිත් දවසෙ ඔහු කියයි මට එන්න එපා වැඩට ඔන්න
කිමද අක්කෙ ඔබට හිතුණෙ මම නිදි වෙලෙ කවි ලියන්න
හිතුණ වත්ද අද දවසෙම මා නැති වෙලෙ දිනුම ගන්න

Nayomi Sirinali Nawarathne
ඔයා නිදන මං ඇහැරෙන ලොවේ දොකොන අපි රැ‍‍ඳෙන්නෙ
මුහුණු පොතට පින් ලැබෙන්න මොහොතින් ලඟ බව දැනෙන්නෙ
අතපසු කර රැකියාවත් නුඹ එහෙනම් කවි ගොතන්නෙ
පිං සිදුවෙයි මගේ මලේ රස්සාවට සිත යොමන්නෙ

උපතින් ලද කවි කම මත මාත් සමඟ පොර බැදුවා
හිතවත් අපෙ මිතුරු කැළත් දෙබසින් සතුටක් ලැබුවා
හෙට දවසෙදි වෙනත් කවක් දිග හරින්න මම හිතුවා
දිනුම ඔබෙයි අෂේන් මල්ලි ඔන්න දැන්ම මම පිදුවා

Ashane Subasinha
රැකියාවට වඩා අගෙයි මේ රස දෙන කවි ගොතන්න
බලා හිටියා ඔබ එනතුරු හිතුවෙ ඇයිද හැන්ගි
ඉන්න
හිඳී ගියාද කවි උල්පත මොකද අක්කෙ දැන්ම
එන්න
දිනුම ඔබට දෙන්නම් මම ආයෙත් ඇවිත් කවි ලියන්න